Thursday, August 25, 2016

ප්‍රභාස්වර සිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වී....


ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකු නොවන
අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයාට චිත්ත භාවනා නැතැයි
බුදුන් වහන්සේ වදාළහ..
චිත්ත භාවනා වැඩීමට පළමුව
අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයා
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකු වීමට නම්
සතර සතිපට්ඨානයෙහි කාය වේදනා අනුපස්සනා මගින්
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්විය යුතු බව
මේ සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙයි. 
___________________________________

මහණෙනි,
මේ  සිත ප්‍රභාස්වර ය.
එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය.
 ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී.
 එහෙයින් ‘අශ්‍රැතවත් පෘතග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.

මහණෙනි,
මේ සිත ප්‍රභාස්වර ය.
එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී.
එහෙයින් 
‘ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට චිත්තභාවනාව ඇතැ’යි කියමි.
.
ප්‍රභාස්වර වර්ගය
අඞ්‌ගුත්‌තර නිකාය එකක නිපාතය

----------------------------------------
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාගේ වෙනස, විශේෂත්වය කුමක්ද?

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

------------------------------------------------------------------
[ මුගලන් මහ රහතන් වහන්සේගේ
කයෙහි ඇට කුඩු වෙනතුරු ජීවත්විය නොහැකි තරමට
සොරුන්ගෙන් පහර කෑවද ශෝක නො කළෙහිය.
ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය. ළෙහි පැහැර නො හැඬීය.
මුළාවට නො පැමිණෙහිය. කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත. ]

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද
ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද,
මහණෙනි,
මෙසේ වනාහි
ඒ පුරුෂ තෙමේ හුල කරණ කොට ගෙන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
එසෙයින් ම ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.

හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

.
සල්ල සූත්‍රය
සංයුත්‌ත නිකාය සගාථා වර්ගය  වෙදනා සංයුක්තය

Wednesday, August 24, 2016

ආර්ය ශ්‍රාවක ශික්ෂාව

මහණෙනි,
“ඉන්ද්‍රියයන්හි ගුප්තද්වාර වම්හ,
භෝජනයෙහි මාත්‍රඥ වම්හ,
නිදි වැරුමෙහි අනුයුක්ත වම්හ,
කුශලධර්‍මයන්ගේ විදර්‍ශක වම්හ,
පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි
බොධිපාක්ෂික ධර්‍මයන් වැඩුමෙහි 
යෙදුනමෝ වසම්හ”යි
මෙසේ හික්මිය යුතුයි.


මහණෙනි,
මෙ සෙයින් ම තොප විසින් හික්මිය යුතුයි.

මෙ සස්නෙහි ආර්ය ශ්‍රාවක
1, දිවා කාලයෙහි
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.

2, රාත්‍රියෙහි ප්‍රථම යාමය
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.

3, රාත්‍රියෙහි මධ්‍යම යාමය
දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා
සම්පජාන සතිය ඇති ව
උත්ථාන සංඥා මෙනෙහි කොට
දකුණැළයෙන් සිංහ ශය්‍යා කෙරෙයි.

4, රාත්‍රියෙහි පශ්චිම යාමය නැගී සිට
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.

----------------------------------------------------------------

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල්හි පිළිසලනින් නැඟී සිටිසේක් උපස්ථානශාලාව කරා එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි හුන්හ.

ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිටියාහු උවටන්හල කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්ව හුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද ... ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ... ආයුෂ්මත් රෙවත තෙරණුවෝ ද ... ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟි සිටියාහු උවටන්හල් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝකල් නිෂද්‍යායෙන් ගෙවා හුනස්නෙන් නැඟී විහාරයට පිවිස වදාළහ. එ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝකල් වත්ම හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට වැඩියහ.

එහි පැවිදිවූ නොබෝකල් ඇති මෙ ධර්‍මවිනයට අධුනාගත වූ යම් නවක භික්ෂුහු වූහු නම්, ඔහු සූ‍‍ර්යොද්ගමය තෙක් කස්මින් නිදිගත්හ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස් ඉක්ම පවත්නා විශුද්ධ වූ දිව්‍ය චක්ෂුසින් සූ‍‍ර්යොද්ගමය තෙක් කස්මින් හෝනා එ මහණුන් දුටු සේක. දැක වදාරා උපස්ථාන ශාලාව වෙත එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ එ මහණුන් අමතා වදාළසේක:

මහණෙනි, 
සැරියුත්හු කොහි ද? මහමුගලන්හු කොහි ද? මහකසුබුහු කොහි ද? මහකසයින්හු කොහි ද? මහාකොට්ඨිතයෝ කොහි ද? මහාචුන්දයෝ කොහි ද? මහාකප්පිනයෝ කොහි ද? අනුරුද්ධයෝ කොහි ද? රෙවතයෝ කොහි ද? ආනන්දයෝ කොහි ද? මහණෙනි, එ ස්ථවිර ශ්‍රාවක භික්ෂුහු කොහි ගියාහු දැ?යි.

වහන්ස, 
භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩී නොබෝකල් වත්ම එ ආයුෂ්මත්හු ද හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට ගියහයි.

මහණෙනි, 
කවරහෙයෙකින් 
“ස්ථවිර භික්ෂුහු ගියහ”යි නවක වන තෙපි 
කස්මින් සූර්යොද්ගමය තෙක් හෝනහු ද?

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? 
කිම, මුර්‍ධාභිෂික්ත ක්ෂත්‍රිය රජ කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරණුයේ යව්දිව් රජකරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය, යන තෙල තොප විසින් දක්නා ලද ද? නැතහොත් අසන ලද දැ?යි

වහන්ස, තෙල කරුණ නැත් මැයි.

මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු ‘මූර්‍ධාභිෂික්ත ක්ෂත්‍රිය රජෙක් කැමැති තාක් යහන් සුවයෙහි පහස්වුවයෙහි නිදිසුවයෙහි යෙදී වෙසෙමින් යව්දිව් රජය කරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය’ යන තෙල නො මැ දක්නා ලදි. නො අසන ලදි.

මහණෙනි, එ කවරැයි හඟිවු ද? 
කිම, තොප විසින් ‘රැටියෙක් වේව’යි ... පියාසතු දායාද්‍ය ඇතියෙක් වේවයි ... සෙන්පතියෙක් වේවයි ... ග්‍රාම භොජකයෙක් වේවයි ... ගණදෙටුයෙක් වේවයි කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරමින් යව්දිව් පූගනායකත්වය කරන්නේ පූගයහට (ගණයාහට) ප්‍රිය මනාප වේය යන තෙල දක්නා ලද හෝ අසන ලද දැයි?

වහන්ස, තෙල නැත් මැයි.

මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු පූග ග්‍රාමණිකයෙක් කැමැතිතාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදි සුවයෙහි යෙදී වෙසෙනුයේ යව්දිව් පූගග්‍රාමණිකත්වය හෝ කරන්නේය, පූගයට හෝ ප්‍රිය මනාප වන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.

මහණෙනි, එ කවරැයි හඟිවු ද? 
තොප විසින් ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, නිද්‍රාසුඛයෙහි යෙදුනේ ඉන්ද්‍රියයන්හි නො පියු දොර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනේ කුශල ධර්‍මයන් නො සොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි (රෑ පෙරයම - පැසුළුයම) බොධිපාක්ෂික ධර්‍මයන්ගේ භාවනානුයොගයෙහි නොයෙදුනේ ආස්‍රවයන්ගේ ක්ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාස කරන්නේය’යි දක්නා ලද හෝ අසන ලද දැ?යි.

වහන්ස, තෙල කරුණ නැත් මැයි.

මහණෙනි, මැනැවැ, 
මහණෙනි, මාවිසිනුදු ‘මහණෙක් වේවයි බමුණෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි යෙදුනේ ඉන්ද්‍රියයන්හි අගුප්තද්වාර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ නිදි වැරුමෙහි නොයෙදුනේ කුශලධර්‍මයන් නොසොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බොධිපාක්ෂික ධර්‍මයන් වැඩුමෙහි නොයෙදුනේ ආස්‍රවක්ෂයයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.

මහණෙනි, එකරුණින් මෙහි ලා “ඉන්ද්‍රියයන්හි ගුප්තද්වාර වම්හ, භෝජනයෙහි මාත්‍රඥ වම්හ, නිදි වැරුමෙහි අනුයුක්ත වම්හ, කුශලධර්‍මයන්ගේ විදර්‍ශක වම්හ, පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බොධිපාක්ෂික ධර්‍මයන් වැඩුමෙහි යෙදුනමෝ වසම්හ”යි මෙසේ හික්මිය යුතුයි.

මහණෙනි, මෙ සෙයින් ම තොප විසින් හික්මිය යුතුයි.
--------------------------------------------------
කුසල සූත්‍රය 
අඞ්‌ගුත්‌තර නිකාය » ඡක්ක නිපාතය » සාරණීය වර්ගය



නොසැලී වෙසෙන්නාට කාමභෝගීන්ගේ ප්‍රතිචාරය

 අට ලෝ දහමින් නොසැලී 
අකම්පිතව, සෝක නොකර, කිළිටි නොවී, ක්ෂේමව,
ආනෙඤ්ජ සමාපත්තියෙන් වෙසෙන පුද්ගලයා පිළිබඳව
පසිඳුරන් ඇසුරෙන් සහ මනසින් විඳින කම් සුවයට ඇලුණු
කාමභෝගී පුද්ගලයන් දක්වන ප්‍රතිචාරය මෙහි දැක්වේ.
ආනෙඤ්ජ සමාපත්තිය

[ ආනෙඤ්ජ සමාපත්තිය යනු නොසැලී විසීමයි. ]

සුනක්ඛත්තය,මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක්
යම්හෙයෙකින් පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්,
සුනක්ඛත්තය,
එකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට
ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී,
ඊට අනුරූප ධර්ම වූ විතර්කය ද විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි
නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නොබෙජෙයි,
ඔහු ගෙන් නොසතුටට පැමිණෙයි.

යම්සේ සුනක්ඛත්තය,
පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ
බොහෝ කල් වෙන් වැ වසන්නේ ද,
හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි
නොබෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්,
හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ
ක්‍ෂෙම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය,
ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්‍ෂෙම බව ද
සුභික්ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය.
සුනක්ඛත්ත,
එ කිමැයි සිතයි ද?
ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේද,
ඇසීමට කන නමන්නේද, දැනුමට සිත එළවන්නේද, ඒ පුරුෂයාත් සෙවුනේද,
ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.

එසේ යැ වහන්ස,

එසෙයින් මැ සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක්
පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද,
සුනක්ඛත්තය,
ලොකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ මැ කථාව පවති,
ඊට අනුරූප වූ ධර්මය මැ විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි
අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි,
 දැනුමට සිත නොඑළවයි, ඒ පුරුෂයා භජනය ද නොකෙරෙයි,
එයින් සතුටට ද නොපැමිණෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය.
ආනෙඤ්ජ සමාපත්තිසංයොජනයෙන් යුක්ත නො වූ
පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.

සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක්
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද,
සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ කථාව පවතී,
ඊට අනුරූප වූ ධර්මය විතර්කවිචාර ද කෙරෙයි,
ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි.
යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනු ලබන කල්හි
අසනු නො කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා ද ඇසුරු නොකෙරෙයි,
ඔහුගෙන්  සතුටු ද නොවෙයි.

යම්සේ සුනක්ඛත්තය,
නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක්
හරිද්වර්ණය පිණිස අභව්‍ය වේ ද,
එසෙයින් මැ සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට
යම් ලොකාමිෂසංයොජනයෙක් ඇද්ද,
එය ගිලිහුණේ වෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය:
ලොකමිෂසංයොජනයෙන් විසංයුක්ත වූ
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති
පුරුෂ පුද්ගලයෙකැ’ යි කියා යි.

 ආනෙඤ්‌ජ සූත්‍රය
ආපායික වර්ගය - තික නිපාතය - අඞ්‌ගුත්‌තර නිකාය