Thursday, September 1, 2016

''දැක්කොත් දැක්කා විතරයි.'' කරන්න පුළුවන් දෙයක්ද?

දැක්කොත් දැක්කා විතරයි.
ඇසුණොත් ඇසුණා විතරයි.
ඔබ මේ පාඨ සිය වරක් අසා ඇති.

ඔබ දැක්කාම දකින තැනින්
ඇසුණාම අසන තැනින් එහාට කරන
ඔබෙ දුකට හේතුවෙන වරද කුමක්ද?
ඒ වරද සිදුවන්නේ ඇයි.?
ඒ වරදින් වළකින්නේ කෙසේද?

=========================================
උද්දේසවිභඞ්ග සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය »
උපරි පන්නාසකය » විභඞ්‌ග වර්ගය

ඇවැත්නි,
කෙසේ නම් ‘බැහැර අරමුණෙහි
විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ’ යි
කියනු ලැබේ යැ යත්:
ඇවැත්නි,
මෙසස්නෙහි මහණක්හට ඇසින් රූ දැක
විඥානය රූපනිමිත්ත අනුව යන්නේ නො වේ ද
රූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ ද
රූපනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නො වේ ද,
රූපනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ නො වේ ද
බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරිණැ’යි
කියනු ලැබේ.
කනින් ශබ්ද අසා ...
ඝ්‍රාණයෙන් ගන්ධ අඝ්‍රාණය කොට ...
දිවෙන් රස ආස්වාද කොට ...
කයින් ස්පර්ශ කොට ...
සිතින් හැඟීම් - සිතුවිලි දැන
විඥානය නිමිත්ත අනුව යන්නේ නො වේ ද
නිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ ද
ධර්මනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නො වේ ද
නිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ නො වේ ද
බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ’යි
කියනු ලැබේ.

ඇවැත්නි,
මෙසේ බැහැර අරමුණෙහි
විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ යි
කියනු ලැබේ.

===============================================
ආදිත්‌තපරියාය සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය »
සළායතන වර්ගය » 1. සළායතන සංයුක්තය »  සමුද්‌ද වර්ගය

මහණෙනි
තොපට ආදිත්තපරියාය නම් වූ
දහම්නය දේශනා කරන්නෙමි.
එය අසවු.
මහණෙනි
ආදිත්තපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්:
මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත රත් වූ
අයශ්ශලාකායෙකින් චක්ඛුන්ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි.
ඇස්විනැණින් දතයුතු රූහි අනුව්‍යඤ්ජන විසින්
නිමිති ගැනීම නො ම මැනවි.

නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ
අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ
කර්ම විඥානය සිටුනේ සිටිනේ ය.
ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම්
නිරයත් තිරිසන් යෝනියත් යන ගතිදෙකින්
එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම්
මේ කරුණ ඇත.
===============================================
නිමිත්තාස්වාදය කවරේද?
අනුව්‍යඤ්ජනාස්වාදය කවරේද?

ඇසින් ප්‍රිය හෝ අප්‍රිය රූපයක් දකින ඔබට
නිමිත්ත ඒ රූපයයි.
ඔබ සිතින් ඒ රූපය ගොදුරු කරගෙන
ආස්වාදයක් ලබයි.
රූප නිමිත්ත ප්‍රිය නම් උපදින
රාගය ආස්වාද කරයි.
ඔබ ලබන ආස්වාදය නිමිත්තාස්වාදයයි.

නිමිත්ත අප්‍රිය වුණත්
ඉන් උපදින ද්වේශය ඔබට ප්‍රිය නම්
ඔබ ඒ රූප නිමිත්ත ආශාවෙන් විඳියි.

ඔබ හදිසි අනතුරු දකින්නට ප්‍රිය කරන්නේ
අනතුරු ගැන කතා කරන්නට ප්‍රිය කරන්නේ
ඒ රූප නිමිති චිත්ත රූප නිමිති
ඉන් උපදින ද්වේශය ආස්වාදයක් වන බැවිනි.

සමහර මිථ්‍යා දෘෂ්ඨික දේශනා අසන ඔබ
ඒ දේශනාව නිමිති කරගෙන
සිතින් නරුමයෙක් බවට පත් වන්නේත්
ඒ දේශනාව අසා ඔබ සෝවාන් වී ඇතැයි සිතන්නේත්
එම දේශනය මගින් ඔබ තුළ උපදින මෝහය
ඔබට ආස්වාදයක් වන බැවිනි.

ඔබ තුළ මෝහය වඩන දේශනා වලට
නැවත නැවත සවන් දෙන්නේ ඇයි.
ඔබට ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද,
ප්‍රිය රස, ප්‍රිය සුගන්ධ, ප්‍රිය ස්පර්ශ
ඔබ නැවත නැවත සොයන්නේ ඇයි.
ඔබට අප්‍රිය රූප, අප්‍රිය ශබ්ද,
අප්‍රිය රස, අප්‍රිය ගන්ධ, අප්‍රිය ස්පර්ශ
ඔබ නැවත නැවත සොයන්නේ ඇයි.

ඔබ නිමිත්තාස්වාදයට පෙළඹෙන හෙයිනි.

ඔබ දකින රූපයට
ආස්වාදනීය අර්ථ කථන සපයන්නෙ
ඔබේ චක්ඛු විඥාණයයි.

ඔබ කලින් ප්‍රිය අප්‍රිය රූප දැක
ඉන් උපන් සුව, දුක් සහ නොදුක් නොසුව වේදනා අනුව
ඔබ තුළ ඔබම සකස් කරගත්
පැරණි අර්ථ කථන සංචිතය
අලුත් නිමිත්තක් ස්පර්ශ වූ විගසම
නව නිමිත්ත ග්‍රහණය කරගනිමින්
විඥාණය කැළඹෙනවා. විසිරෙනවා.

==========================================
ඇවැත්නි,
කෙසේ නම් ‘බැහැර අරමුණෙහි විඥානය
වික්ෂිප්ත වූයේ විසිරගියේ යැ’යි කියනු ලැබේ ද:
ඇවැත්නි,
මෙසස්නෙහි මහණක්හට
ඇසින් රූ දැක රූ නිමිති අනුව ගිය විඥානය වේ ද
රූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූ රූපනිමිත්තාස්වාදයෙන් වෙලීගිය
රූපනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූ
බැහැර අරමුණෙහි වැටුණු විඥානය වික්ෂිප්ත යැ’යි විසුරුණේ යැ’යි
කියනු ලැබේ.
==========================================
''දැක්කොත් දැක්කා විතරයි'' උපදෙස පිළිපදින්න
ඔබට ශක්තිය ඇත්නම් ඔබේ සිත අවුල් වෙන්නෙ නෑ.
විඥාණය කැළඹෙන්නෙ නෑ. විසිරෙන්නෙ නෑ.

ඇසින් ප්‍රිය හෝ අප්‍රිය රූපයක් දකින ඔබට
නිමිත්ත ඒ රූපයයි.
ඔබ සිතින් ඒ රූපය ගොදුරු කරගෙන
ආස්වාදයක් ලබ
වි
විඥාණය කැළඹී විසිරී ඔබ තුළ සිදුවෙන වෙනස
ඔබ ආස්වාදනය කිරීම නිමිත්තාස්වාදයයි.

නිමිත්ත ඔබේ දසුනෙන්, පෙනෙන තෙක් මානයෙන් ඉවත් වුණොත්
ඔබ ඔබේ තුළ චිත්ත රූප මවා ගන්නවා.
ඒ රූපය පවත්වා ගන්න ඔබට අනුව්‍යඤ්ජන අවශ්‍යයි.
මේ රූපය මට ප්‍රිය අසඕ අසෝ හේතු නිසා ...
මේ රූපය අසෝ අසෝ රූපයන්ට සමානයි...
මේ රූපය අසෝ අසෝ රූපයන්ට විරුද්ධයි
ආදී වශයෙන් දහසකුත් එකක් අනුව්‍යඤ්ජන
සිතින් විග්‍රහ කරමින් සිතින් විශ්ලේෂණය කරමින්
ඔබ අනුව්‍යඤ්ජනාස්වාදය ලබනවා....

'' ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම්
නිරයත් තිරිසන් යෝනියත් යන ගතිදෙකින්
එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම්
මේ කරුණ ඇත.''

මේ විපතෙන් අත් මිදෙන්නට කැමැත්ත ඇත්තාහට
ඉන් මිදෙන මාර්ගය කුමක්ද?

==========================================
උද්දේසවිභඞ්ග සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය »
උපරි පන්නාසකය » විභඞ්‌ග වර්ගය


මහණෙනි, තොපට උද්දේස හා විභඞ්ග හා දෙසමි.
එය අසව, මොනවට මෙනෙහි කරව. කියමි’යි වදාළහ.
එසේ යැ වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
බුදුහු තෙල වදාළහ:
යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහට
බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ
ගෝචර අධ්‍යාත්මයෙහි නො පිහිටියේ
උපාදාන වශයෙන් නො ගෙන
තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කරන්නේ ද
එපරිද්දෙන් මහණ තුලනා කරන්නේ යැ.
මහණෙනි, 
බාහිර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරුණු කල්හි
ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි
උපාදාන වශයෙන් නො ගෙන
තෘෂ්ණා පරිතස්සනා නො කරන්නාහට
මත්තෙහි ජාතිජරාමරණ හා
සෙසු දුක්ඛසමුදයාගේ සම්භවයෙක් නො වේ යයි
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

==========================================
දැක්කොත් දැක්කා විතරයි.
ඇසුණොත් ඇසුණා විතරයි.
අවස්ථාවෙන් නවතින කෙනෙක්
නිමිත්ත ග්‍රහණය කරගන්නෙ නෑ.
ඔහු නිමිත්ත ප්‍රිය අප්‍රිය වශයෙන් ගන්නෙ නෑ.
නිමිත්ත  ප්‍රිය අප්‍රිය වශයෙන්  ආස්වාද කරන්නෙ නෑ.

ඒත් මේ තත්වයට පත් වෙන්නෙ කොහොමද?
නිමිත්ත  ප්‍රිය අප්‍රිය වශයෙන්  දැනෙන
නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ
අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ පුහුදුන් පුද්ගලයා
තමන් තුළ ඇතිවෙන ආස්වාදයට
දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද?

නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ
අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ
පුහුදුන් පුද්ගලයාට ඇති එකම ගැලවීම නම්
කයත්, වේදනාත්, සිතත් සිතෙහි වෙනස් වෙන සිතුවිලිත් ආධරයෙන්
තමා පත්ව ඇති තවයෙහි වෙනස් වෙන ස්වභාවය පිළිබඳව
මොහොතින් මොහොතට සිහියෙන් වෙසෙමින්
ඒ සිදුවෙන සියලු වෙනසට ලෝභයෙන් හෝ ද්වේශයෙන්
ප්‍රතික්‍රියා නොදක්වා විසීමයි.

කයත්, වේදනාත්, සිතත් සිතෙහි වෙනස් වෙන සිතුවිලිත් පිළිබඳව
මොහොතින් මොහොතට සිහිය යළි යළි පිහිටුවා ගනිමින්
දැනෙන මාත්‍රයෙන්, එළඹ සිටි සිහිමාත්‍රයෙන්
අනිශ්‍රිතව වෙසෙයි.
පවතින කිසිවක් මදක්වත් ග්‍රහණය නොකරයි.
මෙසේ කය වෙනස් වෙන අයුරු වේදනා ලෙස දකිමින්
සිත වෙනස් වෙන අයුරු සිතුවිලි සහ හැඟීම් ලෙස දකිමින්
නිමිති සහ අනුව්‍යඤ්ජන ග්‍රහණය කර නොගනිමින්
උපාදාන කර නොගනිමින් වෙසෙයි.

මහණෙනි,
බාහිර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත කල්හි
නො විසිරුණු කල්හි
ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි
උපාදාන වශයෙන් නො ගෙන
තෘෂ්ණාපරිතස්සනා නො කරන්නාහට
මත්තෙහි ජාතිජරාමරණ හා 
සෙසු දුක්ඛසමුදයාගේ සම්භවයෙක් නො වේ යයි
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
======================
පුත්‌තමංස සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය »
අභිසමය සංයුක්තය » මහා වර්ගය

මහණෙනි,
ස්පර්ශාහාරය පරිඥාත කල්හි වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි.

No comments:

Post a Comment