Thursday, August 25, 2016

ප්‍රභාස්වර සිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වී....


ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකු නොවන
අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයාට චිත්ත භාවනා නැතැයි
බුදුන් වහන්සේ වදාළහ..
චිත්ත භාවනා වැඩීමට පළමුව
අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයා
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකු වීමට නම්
සතර සතිපට්ඨානයෙහි කාය වේදනා අනුපස්සනා මගින්
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්විය යුතු බව
මේ සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙයි. 
___________________________________

මහණෙනි,
මේ  සිත ප්‍රභාස්වර ය.
එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය.
 ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී.
 එහෙයින් ‘අශ්‍රැතවත් පෘතග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.

මහණෙනි,
මේ සිත ප්‍රභාස්වර ය.
එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී.
එහෙයින් 
‘ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට චිත්තභාවනාව ඇතැ’යි කියමි.
.
ප්‍රභාස්වර වර්ගය
අඞ්‌ගුත්‌තර නිකාය එකක නිපාතය

----------------------------------------
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාගේ වෙනස, විශේෂත්වය කුමක්ද?

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

------------------------------------------------------------------
[ මුගලන් මහ රහතන් වහන්සේගේ
කයෙහි ඇට කුඩු වෙනතුරු ජීවත්විය නොහැකි තරමට
සොරුන්ගෙන් පහර කෑවද ශෝක නො කළෙහිය.
ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය. ළෙහි පැහැර නො හැඬීය.
මුළාවට නො පැමිණෙහිය. කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත. ]

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද
ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද,
මහණෙනි,
මෙසේ වනාහි
ඒ පුරුෂ තෙමේ හුල කරණ කොට ගෙන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
එසෙයින් ම ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.

හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

.
සල්ල සූත්‍රය
සංයුත්‌ත නිකාය සගාථා වර්ගය  වෙදනා සංයුක්තය

No comments:

Post a Comment